ශු. ජුවාම් අපෝස්තුළුතුමන්ට යාච්ඤාව

මහෝත්තම දෙවියනි, ඔබවහන්සේගේ පුත්‍රවූ ජේසු සමිදාණන් හා ඉතා සමීපව ආශ්‍රය කළාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමන් වටා රැස්ව සිටින අප සැමගේ ජීවිත ඔබවහන්සේට බාර කරමු.

ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි, ජේසු සමිදුන්ගේ සැබෑ ජීවිතය ආදර්ශයට ගනිමින් එතුමන් මග යමින් ලෝවැසි ජනතාවට එතුමන්ගේ ජීවිතය තම දේශනා හා සුවිශේෂය හරහා හදුන්වාදීමට ඔබතුමන් ඉදිරිපත්වුවා නොවේද?

විශ්වාසය නමැති පහනේ ආලෝකයෙන් තමන් විසින් ගොඩ නැගු කිතුනු සංඝය පෝෂණය කිරීමට එසේම හැකි වුවා නොවේද ?
ජේසු සමිදාණන්ගේ සමීපතම ගෝලයා වශයෙන් තම සුවිශේෂය මගින් ජේසු සමිදාණන් පිළිබදව ගැබුරු විවරණයක් කිරීමට සමත් වෙමින් සමස්ථ සභාවේ විශ්වාසය ශක්තිමත් කිරීමට හැකිවූවා නොවේද

සත්‍යගම ලෝක දසදිග ස්ථාපනය කරනවා දුටු මිත්‍යාදුෂ්ටික අගරජගේ ආඥාව ලෙස ගින්දර මෙන් උතුරන තෙල්කටාරමේ දැමුවිට තිබුණාටත් වඩා ශක්තිමත් ශරීර සනීප ලැබ එතනින් ගොඩ එන්නට වරම් ලද්දාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි, ඔබ තුමන්ගේ මැදහත්කම අයැද සිටින අප සියලු දෙනාද, අප මව්පිය සොයුරු සොයුරියන්ද, අප පවුල් හා නෑදෑ හිතවතුන්ද, අප මිසමද, පුජක පැවිදි සියල්ලන්ද, එමෙන්ම අපට නපුර පතන සොයුරු සොයුරියන්, මුළු විශ්වයද එහි සියළු දෙනාවද ඔබ තුමන් තුලින් දේව වරප්‍රසාදයට කැපකර සිටිමු.

ලොව පවතින ආර්ථික දුෂ්කරතාවයන් ඉදිරියේ වේදනා විදින සෑම පවුල්ද ආසිරි ගන්වමින් යහපත් සමාජ වාතාවරණයක් ගොඩ නැගීමට අවැසි වරමද ලබා දුන මැනව. ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි, කුරුස ගසේදී ඔබ තුමාට මරියාවන්ගේ ජීවිතය බාර දුන්නාක් මෙන් අප සැමගේ ජීවිතත් බාර දෙන්නෙමු. අප සැමගේ අවශ්‍යතා අපටත් වඩා හොදින් දන්නාවූ ජේසු සමිදුන්ගේ කැමැත්ත පරිදි ඒවා සියල්ල අපට නියමිත මොහොතේ නියමිත ආකාරයෙන් ඔබතුමන්ගේ මැදිහත්කම තුලින් අපට ලබා දුන මැනව.

එමෙන්ම අද දවසේ අප කරන මේ ස්තුතිය බාරගත මැනව. අප ශුද්ධවූ සභාව තව තවත් ශක්තිමත් වී ලොව සැමතැනම පතළ කිරීමට අවශ්‍යය වරප්‍රසාද ලබා දුන මැනව. අවසානකොට පව්කාර අපත් අප ආත්ම ගැලවීම පිණිස ඔබතුමන් උගන්වා වදාළ සියළු දේ අප හෘද තුළ අඩංගු කරගෙන ශුද්ධවූ සභාවේ සැබෑ දරුවන් වී පරලොව මෝක්ෂ ඔටුන්නට හිමිකාරයන් වන්නට කරුණාකර වදාළ මැනව. ආමෙන්