ශු. ජුවාම් අපෝස්තුළුතුමන්ගේ දේවස්ථානයේ සියවසක් පුරා දිවෙන ඉතිහාසය

 
1923 දී  මෙම දේවස්ථානය ශු. ජුවාම් අපෝස්තුළුතුමන් නමින් කැප කලද, ඊට පෙර 1848 පමණ කාලයේ සිට බෝනෑගල ග්‍රාමයට යන මාර්ගයට සම්බන්ධ වූ පල්ලියවත්ත යන ඉඩමේ වියන ලද පොල්අතු සෙවිලි කර වටේට පොල් අතු අසුරා ලී දඩු වලින් සාදන ලද මණ්ඩපයක් මත දේව මාතාවන්ගේ සුරුවම තබා එකල අය වන්දනාමාන කල බවත් එකල සිටි පැරණි අයගේ දු දරුවන් පවසා ඇති බව මෙයට කලින් මෙම දේවස්ථානයේ ආරම්භය ගැන ලියන ලද විස්තරයක ඇතුලත් වේ.
 
කෙසේ නමුත් ශු. ජුවාම් අපෝස්තුළුතුමන්ට කැපකළ ගොරකදෙනිය දේවස්ථානයේ සහ සංඝයේ ආරම්භය වර්ෂ 1923දී සිදුවූ බව සදහන් වේ. 1920 දී පමණ ගොරකදෙණිය ග්‍රාමය හරහා අත්තනගල්ල ප්‍රදේශයට යාම සදහා මාර්ගයක් සෑදීමට කටයුතු කර තිබු අතර, එයට ආසන්නව එනම් මාර්ගයට මායිම්ව තිබුණු සීමාවේ දොන් ජුවන් රාජසේකර මහත්මාට අයත්ව තිබු ඉඩමක් කතෝලික සභාවට පරිත්‍යාග කර දේවස්ථානයක් සෑදීමේ අරමුණින් එවකට වේයන්ගොඩ මිසම පාලනය කල ගරු ජෝෂප් ඇලෝෂියස් පියතුමා මගින් කොළඹ අගරදගුරු තැන්පත් අති උතුම් ඇන්තනි කුඩේරට් අගරදගුරු හිමිපාණන් දැනුවත් කිරීමෙන් එම අවසරය මත දොන් ජුවන් රාජසේකර මහතා විසින් තමන්ගේ වියදමින් පුජාසන කොටස ආවරණය කර තාප්ප , බිත්ති බැද පොල්කොට මත වහල ගසා වියන ලද පොල් අතු සෙවිලි කර ශු. ජුවාම් අපෝස්තුළුතුමන්ගේ සුරුවමක් එම මහතා විසින්ම ගෙනන ලද බවත් එම ප්‍රතිමාව පුජාසන කොටසේ ලෑලි වලින් සාදන ලද තට්ටු සහිත අල්තාරයට ඉහලින් පිහිටි තාප්ප වලින් සාදන ලද මුදුන් බිත්තියේ සාදන ලද ගුහාවක තබා ඇති බවත් එකල වේයන්ගොඩ මීසම් පාලකව සිටි ගරු ඇම්. ඇන්. ස්ටුවමර් පියතුමා විසින් දේවස්ථානයත්, ප්‍රතිමාවත් ආශිර්වාදකර 1923 වසරේදී පළමු දිව්‍ය පුජාව සිදු කර ඇති බව පැවසේ.
 
එසේම ඒ කාලයේ මංගල්‍යය පැවැත්වීම සදහා කොඩිගසක් සිටුවීම සදහා එකල විසු අයවලුන් විසින් හොර ගස් නමින් හැදින්වෙන ගසක් ගෙන එහි සුදු, රතු, නිල් වර්ණයන්ගෙන් ආලේප කර එම වර්ණයන්ගෙන්ම සාදන ලද කොඩි වලින් අලංකාර කල බව පැවසේ. 1923 වර්ශයේ ශු. ජුවාම් අපෝස්තුළුතුමන්ගේ ප්‍රතිමාව දේවස්ථානය සෑදීමෙන් පසු පුජාසනයේ ඉහලින් තැබුවද, දේව මාතා ප්‍රතිමාව දේවස්ථානයට ගෙනා පසු පුජාසනයට පිටතින් තබා තිබු බැවින් අවුරුදු දෙක තුනක් යන විට ගොරකදෙණිය කතෝලික පවුල් වලට පමණක් යම් කිසි රෝගයක් පැතිරයාමෙන් බෙහෙත් වලින් සුවකර ගැනීමට නොහැකි වීමෙන් එකල විසු කතෝලික පවුල්වල අය මෙම දේව මාතාවන්ගේ ප්‍රතිමාවට නිසි ගෞරවයක් ලබා නොදුන් බැවින් යැයි සිතා එතුමියට භාරයක් වී එතුමියගේ ප්‍රතිමාවද පුජාසනය කොටසේ තැබීමටත්, මංගල්‍යයෙන් පසු විදී සංචාරය කරද්දී පෙරහරේ ගෙන යාමට, එතුමියට ගෞරව වශයෙන් පවුල් නුවාන පැවැත්වීමටත් පොරොන්දු වීමෙන් පසු එම රෝගය සුව වූ බවත් එම නිසා එවක් පටන් මේ පිළිවෙත් සිදු කරන බවත් පැවසේ.
 
1945 වර්ෂයේ පමණ වන විට දේවස්ථානයේ කොන්ක්‍රීට් කණු මත වහල ගසා පුජාසනය කොටස පමණක් තාප්ප බැද කබොක් ගලින් හා මැටියෙන් සාදන ලද මොගොප්පුවක් සහිතව පිළිසකර කිරීම ගොරකදෙනියේ විසු දොන් ලියෝරිස් රත්නසේකර මහතා විසින් යැයි කියවේ.
 
1951දී පමණ දේවස්ථානයට පිටුපස ඇති මීසම් ගෘහය ඉඩම මර්සල් රාජසේකර මහතා විසින් දේවස්ථානයට පරිත්‍යාග කරන ලදුව 1952 දී පමණ ගරු පිලිප් දිසානායක පියතුමා විසින් එහි මීසම් ගෘහයක් සාදන ලදී.
 
1952 වර්ෂයේ පමණ දේවස්ථානය බිත්ති ගඩොලින් බැද මොගොප්පුවද ප්‍රතිසංස්කරණය කර වහලය පල දෙකට සිටින සේ සාදා උළු සෙවිලි කර සදා ඇත්තේ ඩී.කේ රාජසේකර සහෝදරයන් විසින් ගම්මුන්ගේ ආධාරද ඇතිවය.
 
1963 දී ගොරකදෙණිය තරුණ කතෝලික සංවිධානය ආරම්භ වූ අතර එහි ක්‍රියාකාරිත්වය අනුව දේවස්ථානයේ වැඩි දියුණු කටයුතු සිදු කර ඇත.
 
1970 පමණ තෙක් මෙම හොර ගස නමින් හැදින්වෙන ගස කොඩි ගස ලෙස භාවිතා කල අතර 1963 දී ඇරබුනු තරුණ කතෝලික සංවිධානය විසින් කරන ලද ඇරයුමකින් 1970 සිට ඩි.කේ රාජසේකර සහෝදරයින්ගේ අනුග්‍රහයෙන් අඩි 50 – 75ක් පමණ උසට යකඩින් සෑදු කොඩිගසක් පරිත්‍යාග කර ඇති අතර එවක් පටන් එම කොඩි ගස භාවිතා කර ඇත.
 
1973දී පනස් වසරක ජුබිලි උත්සවය වෙනුවෙන් එවකට පැවති තරුණ සංවිධානයේ උනන්දුව මත ආධාර එකතු කිරීමෙන් හා සැණකෙළියක් පවත්වා ලබාගත් මුදලින් කළු ගලින් තනන ලද සීනු කණුවක් සෑදීම හා දේවස්ථානය ඇතුලත ප්‍රතිසංස්කරණය කරන ලදී. මේ කාලයේ නිට්ටඹුව මිසමේ පාලකව සිටි ප්‍රංශ ජාතික ගරු පෙලයිබර් පියතුමාද ජුබිලිය වෙනුවෙන් විශේෂ උනන්දුවකින් කටයුතු කල අතර එම අවුරුද්දේ දෙසැම්බර් මස දෙවන සතියේ ඉරිදා පවත්වන ලද මංගල මහා පුජාව එවක කොළඹ සහයක රදගුරු ගරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් විසින් සිදු කරන ලදී. මේ කාලය වන විට ගොරකදෙණිය ග්‍රාමයේ පවුල් 18ක් පමණක් සිට ඇත..
 
1977 වසරේදී ගමේ කතෝලික ජනතාවගේ ආධාර  හා මීසම් පාලක ගරු පිලිප් සිල්වා පියතුමාගේ ආධාර ඇතිවද තරුණ කතෝලික සංවිධානය විසින් දේවස්ථානයට විදුලි බලය ලබා ගන්නා ලදී.
 
1983 වසරේදී දේවස්ථානයේ පුජාසනය කොටස මැටියෙන් බැද තිබූ බැවින් වේයන් හුබස් බැදීම නිසා එම කොටස ප්‍රතිසංස්කරණය කිරීම සදහා එවකට මීසම් පාලකව සිටි ගරු පැට්‍රික් පියතුමා මගින් තරුණ කතෝලික සංවිධානය විසින් රදගුරු මැදුරට දන්වන ලද අතර එයින් ලැබුණු ආධාර මුදලින් පුජාසනය කොටස පමණක් ආරුක්කු බිත්ති සහිතව නව පුජාසනය සාදන ලදී. ඒ අතරම දේවස්ථානයට යාකර පිටුපස කාමරයක්ද කතෝලික සංඝයේ ආධාර මත ඉදි කල අතර පුජාසනය කොටස වටකර ඇති ගරාදි වට සාදා සවිකිරීම කැලණියේ ඩි. එම්. රාජසේකර මහතාගේ පවුලේ අය විසින් කර ඇත.
 
1992දී දේවස්ථානය ඉදිරිපිට ඇති ශු. ජුවාම් අපෝස්තුළුතුමන්ගේ පිළිරුව තැබීම සදහා සිමෙන්තියෙන් බැද පිගන් ගඩොල් ඇල්ලු ගොඩනැගිල්ල ඩි. එම්. රාජසේකර මහතාගේ පවුලේ අය විසින් කර ඇත.
 
1996 වසරේදී දේවස්ථානය ඉදිරිපිට ඇති තාප්ප බැදීම හා ගේට්ටු දැමීම කරන ලද්දේ ගොරකදෙණිය කතෝලික පවුල්වල ආධාර හා දේවස්ථානයේ අරමුදල් වලින් වන අතර ගේට්ටුවේ සම්පුර්ණ වියදම අජිත් රාජසේකර මහතා  විසින් කරන ලදී.
 
1998 දී එවකට මීසම් පාලකව සිටි ගරු රංජිත් මදුරාවල පියතුමාගේ උපදෙස් මත ගම්පහ දිසාවේ කතෝලික ජනතාවගේත්, අගරදගුරු මැදුරේත්, ගොරකදෙණිය කතෝලික, බෞද්ධ ජනතාවගේත් ආධාර මත දේවස්ථානයේ පැරණි මොගොප්පුව ඉවත් කර අඩි 12ක් පමණ ඉදිරියට ගෙනා කොන්ක්‍රීට් ස්ලැබ් එකක් සහිත මොගොප්පුවක් ඇතිව ඇතුලත ඇතුලත ප්‍රතිසංස්කරණ කටයුතුද කරන ලදී. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු දෙසැම්බර් මස නිම කිරීමට නොහැකි වූ බැවින් 75 වන ජුබිලි මහෝත්සවය 1999 වසරේ ජනවාරි මස 24 වන දින කොළඹ අගරදගුරු අති උතුම් නිකලස් මාක්ස් හිමිපාණන් විසින් සිදු කරන ලදී.
 
2008 වර්ෂයේදී දේවස්ථානය වටේ තාප්පය බැදීමේ කටයුතු සිදු කරන ලදී.
 
2011 වසරේදී දේවස්ථානය ඉදිරිපිට මොගොප්පු ගොඩනැගිල්ල සැදැහැවතුන්ගේ ආධාර මත නිමකිරීමට හැකි විය.
 
2012 වසරේදී ගොරකදෙණිය කතෝලික ජනතාවගේ ආධාර මත දේවස්ථානය ඉදිරිපිට කලුගනින් ලූර්දු ගුහාව සාදන ලද අතර 2013 වසරේදී දේවස්ථානය ඉදිරිපිට බිමේ ඉන්ටර්ලොක් ගල් ඇල්ලීම සිදු කරන ලදී.
 
2018 වසරේදී දේවස්ථානය ඇතුලත ටයිල් කිරීමේ කටයුතු නිම කිරීමට හැකි විය.
 
මෙසේ වසර සියයක් වැනි දීර්ඝ කාලපරිච්ඡේදයක් පුරා පියවරෙන් පියවර බොහෝ දෙනාගේ මුදල්, ශ්‍රම දායකත්වය මත දේවස්ථානය වැඩි දියුණු වූ අතර ඒ සදහා නොයෙකුත් මාර්ග තුලින් උදව් උපකාර කර සියලු දෙනාට ගොරකදෙනිය ශු. ජුවාම් අපෝස්තුළුතුමන්ගේ දේවස්ථානය වෙනුවෙන් මෙසේ ස්තුතිය පිරි නමන්නෙමු.